Friday, July 22, 2011

තාම නුඹ බලාගෙන ~~~-

කොලඹ ඉඳන්
ගෙදර යන්න
බස් එකකට නැග්ගම මම
නුඹ බලාන උන්නා
වීදුරුවෙන් එහා හිඳ

පානදුරත් පහු උනා
ඈතින් අළුත් ගීයකුත් ඇහෙනවා
හොරැහින් බැලුවාම වීදුරුවෙන්
තාමත් නුඹ එතනම


ගොම්මන මැද්දෙ වාද්දූවෙ
ප්ලේන්ටියක් බොන්න
බස් එක නැවැත්තුවාම
ප්ලේන්ටියට තනියට
විස්සක් වියදම් කරලා
ගල් ඇන්දක් උඩ වාඩි උනාම
මට රවාගෙන
තාම නුඹ බලාගෙන

කළුතර පාලම පහුවෙද්දි
පාලම යටින් ගඟේ
නටන දියරැලි අස්සෙ ඉඳගෙන
නුඹ තාමත් බලාගෙන


කම්මැලි කමට නින්දක් දාගෙන
ගාල්ලත් පහු කරනකොට
ගාලු කොටුවට බර වීගෙන
තාමත් නුඹ ඇස් ඇරගෙන

බැහැපං මලයා
කොන්දොස්තර කියනකොට
කොරොස්කට බිඳගෙන
බස් එකෙන් බැස්සම
අතකින් මුව වසාගෙන
තාම නුඹ බලාගෙන

මෙච්චර දුරක් ඇවිදින්
මහන්සිය වැඩිකමට
ඇලවෙන්න හැදුවම
හිල් වෙච්චි පොල් අතු අතරින්
තාම නුඹ බලාගෙන

 

 


1 comment: