Saturday, June 18, 2011

පින් නොකල පින් ඇස් .....

දෙකනේ රුවා ඇති රන් තෝඩුවට නොව
වරලේ ගසා ඇති අරලිය මලයි සුව
නිතඹේ ඇඳුනු රේඛාවක් කියන කව
සුවදේ ඔබේ ලඟ හමනා සුවඳ තව

ඉඳුලේ නොගිය දෙතොලේ ඇති හිනාවයි
කඳුලේ පහස නොලැබූ වාසනාවයි
මිදුලේ පිපුනු වතු සුදු මල් පරාදයි
උකුලේ කලය මට වැඩි පිං කෙරූවයි

සළුවෙන් මුවා කර පද්දන හැඟුම් වැල
ඉවසුම් නොදී රඟදෙන රණ හසුන් පෙළ
නෙරියේ කොනක පැටළුනු අරලියා මල
හිමිදිරි උදය කිම මා මේ පිනක් කල

ඉර ඈතයි මගෙ ලෝකෙන් ගොඩක් දුර
සඳ ඈතයි සිව් සිය ගව් සහක් දුර
නුඹ ඈතයි බලනා කවුළුවෙන් දුර
දැනුනාමයි මම කල මහ පවක බර

නුඹ දකිනා මගෙ ඇස වාසනාවන්
නුඹ විඳිනා මගෙ හිත වාසනාවන්
නුඹ පතනා මගෙ හිත වාසනාවන්
නුඹ ලැබෙනා ඔහු තව වාසනාවන් 


No comments:

Post a Comment