Monday, June 27, 2011

මට ආසයි

මට ආසයි කිකිළිය කුට පෙම් කරලා
කුකුල් කූඩුවක් අත්තක් උඩ හදලා
බ්‍රොයිලර් පැටව් දෙක තුනකුත් ඇති කරලා
මගෙ දිවිගෙවන්නට තඩි කුකුලෙක් වීලා

අලුත් අම්මා

වීසි වෙන
කෑගහන
ගන්දබ්බයන්ගේ
කන්දොස්කිරියාවට
නිමාව දීපන්උඹ
වෙලා අලුත් අම්මා
 
 

*ලොවේ නැත අන් රසඳුන නොපල කවි සේ සුවදෙන*


කියලා දැක්කම
ලොකු පොතක තිබිලා
මට මතක් උනා
අපෙ මැරුණ ආච්චි අම්මා
මට හොරෙන්
එකතු කරගෙන
පෙට්ටගමේ දාලා
පරිස්සම් කරගෙන
ඉතිරි කරගෙන තිබූ
නුඹට මම ලියලා,
දෙන්න බැරි උනු
කවි ලියපු
දිනපොත...
 
 

ඔබට මම

හිතුනම වේගෙන් යන
ඕනෑම වෙලාවක
හෙමින් යන
විටක තරඟයේ යන
හැම මොහොතෙම
නැවතුමක් සොයා යන
138 බසයක් වැනි
නුඹේ ජීවිතයට
කන්තෝරුවට යන්න
පමාවී
වැරදීමකින් වාගේ
අහම්බෙන් ගොඩවුනු
මගියා, ය
මම

වෙනස

එදා මහ යුධ බිමේ
පතාක යෝධයකු මෙන්
විස් කම් පෑ
යුද්ධ ටැංකිය

මාන පඳුරෙන්
වට උනු
හිල් වෙච්චි
ටකරමෙන් සෑදුනු
කඳවුරේ කොනේම
මඩුවේ වැජඹෙයි
මෙදා...
 
 

වටිනාකම

මගේ ප්‍රේමනීය කවියට
උඹ දුන්නු
වටිනාකම
විවර කළ
හැඳි වතින් මතුවුනු
නග්න දේහය නම්

තු: විතරක්...
මගේ කවිය..

Saturday, June 18, 2011

කඳුළු

කඳුළු වලින් පොඟව ගත්ත
රක්ත වර්ණ නීල නුවන්
අහස දිහා බලාගත්ත
අතම ඉන්න නීල නුවන්
බෝල බෝල කඳුළු බින්දු
මගෙ දිහාම බලා ඉඳන්
සඟවන්නට හදන රහස
හීනෙන් හරි මට කියපන්

පින් නොකල පින් ඇස් .....

දෙකනේ රුවා ඇති රන් තෝඩුවට නොව
වරලේ ගසා ඇති අරලිය මලයි සුව
නිතඹේ ඇඳුනු රේඛාවක් කියන කව
සුවදේ ඔබේ ලඟ හමනා සුවඳ තව

ඉඳුලේ නොගිය දෙතොලේ ඇති හිනාවයි
කඳුලේ පහස නොලැබූ වාසනාවයි
මිදුලේ පිපුනු වතු සුදු මල් පරාදයි
උකුලේ කලය මට වැඩි පිං කෙරූවයි

සළුවෙන් මුවා කර පද්දන හැඟුම් වැල
ඉවසුම් නොදී රඟදෙන රණ හසුන් පෙළ
නෙරියේ කොනක පැටළුනු අරලියා මල
හිමිදිරි උදය කිම මා මේ පිනක් කල

ඉර ඈතයි මගෙ ලෝකෙන් ගොඩක් දුර
සඳ ඈතයි සිව් සිය ගව් සහක් දුර
නුඹ ඈතයි බලනා කවුළුවෙන් දුර
දැනුනාමයි මම කල මහ පවක බර

නුඹ දකිනා මගෙ ඇස වාසනාවන්
නුඹ විඳිනා මගෙ හිත වාසනාවන්
නුඹ පතනා මගෙ හිත වාසනාවන්
නුඹ ලැබෙනා ඔහු තව වාසනාවන් 


Wednesday, June 15, 2011

ගුරුතුමී

කර්කෂ වචන
ගෝරනාඩු පිරි
කොල්ලුපිටියෙ
මහ ගිණි දවාලක
කරම් පතක
ඉත්තන් මෙන්
විසිවෙන මුහුණු අස්සේ
දුටුව මම
ඒ දයාබර දෑස
මහ සෙනග යන
තාර පාරෙ මැද්දෙම
දූවුලි වැදුන
නුඹෙ දෙපා වැන්දාම
"බුදු සරණයි පුතේ"
කියල කිව්වාම
මට මතක් උනා
"අයන්න කියපන් පුතේ"
කිව්ව හැටි
මගේ දයාබර
ගුරුතුමී...
අතගෑවෙ රණ තිසරිඳු නුරාගයෙන්
මට පෑවේ නුඹ හදවත නිරාසයෙන්
තව බෑනේ සිප ගන්නට සෙනේහයෙන්
මට ඕනේ අත ගන්නට නිමේශයෙන්
සේලයෙන් වසා නුඹ කට කාර කම
සීතලෙන් කසා තව හිත ලෝබ කම
යහනයෙන් මුදා මම මනමාල හිත
සීරුවෙන් වඩා ගෙන යමි ඈත නුඹ

ඔබ සහ මම

ඔබට ආදරය කල මම
----------------------
ඔබව
"ආදරය" කියා
නම් කළෙමි
...
එවිට

මගේ ආදරය ප්‍රථික්ෂේප කළ ඔබ
---------------------------------
"මූසළයෙක්"
කියා
මා නම් කර ඇත

මගේ ප්‍රේමය

මහා කිවිඳෙක් ඉඳන්
කලා මට අභියෝගයක්
හරි උඹට හැකිනම්
කරපන් උපමාවක්
උඹේ ප්‍රේමයට
දත් මිටි කාලා
දාඩිය දාගෙන
කට ඇරලම
මම කිව්වා

"අවුට් සාන් සුකී" වගේ
මගේ ප්‍රේමය

නයා

නොදකින් ....

පෙනේ තිබුනට
දළත් තිබුනට
විද්දෙ මොකටද
තවත් විසකට

නැහෙන හින්දා
විසෙන් තව විස
අමතකවද මන්දා
විද්දෙ උඹ මට

විදුම් ලැබූ මම
සාලෙ මැද
සෝෆාවෙ
විදින ලද උඹ
පැඟිරි ගහ යට
සාමදානෙ .....
 

අම්ම්බලම

හීතල හිරිගඩ්ඩ
නැති උනාට
A/C හිමෙන් තෙත් වෙන
නොයෙක් කාමර අභියස
සුරලොව සැප
...මවන මිහිපිට
කොල්ලුපිටිය ....

ඉබාගාතේ යන
හිඟන මගේ
අළුත් අම්බලම